ජනාධිපති එදා කැමති අද අකමැති 19… (රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා 2019 ජුනි 30 වැනි දින ඉරිදා දිවයින පත්‍රයට ලියූ ලිපිය)

ජනාධිපති එදා කැමති අද අකමැති 19… (රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා 2019 ජුනි 30 වැනි දින ඉරිදා දිවයින පත්‍රයට ලියූ ලිපිය)

  • Post author:
  • Post category:General
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූයේ 2015 ජනවාරි 8 වන දිනය. ජනාධිපති වූ වහාම ඔහු කළේ එවකට සිටි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වහා ඉවත් කොට ඒ තනතුරට ශ්‍රී පවන් විනිසුරුවරයා පත්කිරීමය. එසේ කිරීම ව්‍යවස්ථා විරෝධී වුවත් කවුරුත් කිසිවක් කීවේ නැත. ඊට පසුව කළේ එතෙක් විරුද්ධ පක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අගමැති කොට තිබුණු රජය පෙරලීමය. පැවැත්වූයේ ජනාධිපතිවරණයක් වුවත් වූයේ නව ජනාධිපති කෙනෙක් සමග නව රජයක්ද බිහිවීමය. එයද ව්‍යවස්ථා විරෝධී වන්නේ රජයක් පිහිට වූ රනිල් වික්‍රමසිංහට ඒ වන විට තිබුණේ ආසන 42 පමණක් වීමය. එසේ වුවද එයට ද කිසිවෙක් විරුද්ධ වූයේ නැත. ඉන්පසු එම “නව රජය” කඩිමුඩියේ කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙන ඒමය. ඔවුන්ට අනුව 19 ගෙන ඒම පිළිබඳව ප්‍රධාන අරමුණ වූයේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, දූෂණය තුරන් කිරීම, යහපාලනය ගෙන ඒම, ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම යනාදියයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ කවුද යන්න අප සියලු දෙනා දනිමු. එහි ප්‍රධානම නිර්මාතෘවරුන් දෙදෙනා වූයේ චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ සිට අපේ රට ෆෙඩරල් කිරීමට ප්‍රයත්න දැරූ ජයම්පති වික්‍රමරත්න සහ උතුරේ වෙනම රාජ්‍යයක් සඳහා ත්‍රස්තවාදය මුදාහල ප්‍රභාකරන්ගේ දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ සුමන්දිරන්ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය සහ රාජපක්ෂ විරෝධීන්ගේ සහභාගීත්වයෙනි. එබැවින් සිරිසේන ජනාධිපතිතුමා ද ලොවටම පෙන්වීමට උත්සාහ ගත්තේ තමන්ගේ විධායක බලය, ධූර කාලය යනාදිය රටේ ඉදිරි අනාගතය උදෙසා පරිත්‍යාග කරන බව පෙන්වීමටය. ජයම්පති වික්‍රමරත්න, සුමන්දිරන් ඇතුළු කණ්ඩායම කළේ 19 වන සංශෝධනය ඉතා කූට ලෙස සම්පාදනය කරමින් ජනාධිපතිතුමාගේ ද කනින් රිංගා, ඔවුන්ගේ බලතල රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පැවරෙන ආකාරයෙන් සහ 2002 දී ඔවුන්ට කර ගැනීමට නොහැකි වූ, එනම් පවතින රජය කුමන හේතුවක් නිසා හෝ වසර 4 1/2 යන තුරු ජනාධිපතිට විසුරුවා හැරීමට නොහැකි වන සේ සංශෝධන ගෙන ඒමය. ජනාධිපති තුමා තමන්ට කරන ලද උපකාරය වෙනුවෙන් ඔවුන් කෙරේ පූර්ණ විශ්වාසය තබා සංශෝධන වෙනකෙක් ලවා හෝ ගැඹුරින් අධ්‍යයනය නොකොට එය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට සියලුම මන්ත්‍රීවරුන් පොළඹවන ලදී. ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල ජනාධිපතිතුමාට සහාය නොදුන් සියලුම පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ද ජනාධිපතිවරයා තමාට දෙන සහයක් සේ සලකා 19 ට සහාය දෙන මෙන් ඉල්ලා සිටියේය. ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙක් 19 යේ තිබූ සමහර බරපතළ කරුණු තර්ක කොට පළ කිරීමට සමත් වූ නමුත් අවසානයේ අප කවුරුත් දන්නා පරිදි 19 සභා සම්මත විය.
නමුත් දැන් මේ 19 ට පුර්ණ ආශිර්වාදය දුන් සහ එය අනුමත කිරීමට මන්ත්‍රීවරුන් පෙලඹවූ ජනාධිපතිවරයාම 19 න් රට අගාධයට පත්ව ඇතැයි කියන්නේ ඇයි? එසේ පවසන්නේ ජයම්පති වික්‍රමරත්න, සුමන්දිරන් කණ්ඩායම රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි තමාව රැවැට්ටු අන්දම සහ රට අගාධයට පත්වන විට කිසිවක් කර කියා ගත නොහැකි තත්වයට තමාව පත් කර ඇති අන්දමත් පිළිබඳව ඔහුට හොදට වැටහී ගොස් තිබෙන බැවිනි.
අද මෛත්‍රීපාල ජනාධිපතිතුමා අන්ත අසරණ භාවයට පත්ව ඇත්තේ රට තව තවත් දිනෙන් දින අනතුරට පත් කරන විටත් 2020 පෙබරවාරි මස වන තෙක් තමන්ට මේ රජය විසුරුව හැරීමට නොහැකි නිසාය. පෙර ව්‍යවස්ථාවේ සඳහන් වී ඇත්තේ ඕනෑම රජයක් වසරකට පසු විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබෙන බවය. නමුත් ඒ බලය වසර 4 1/2 ක් දක්වා පාවිච්චි කළ නොහැකි යයි සංශෝධනය වූයේ 19 යෙනි.
2003 වසරේ දී එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා ජනාධිපති තුමියට ද නොදන්නා කැබිනට් අනුමැතියකින් ද තොරව කොටි ත්‍රස්තවාදීන් සමග ඊනියා සාම ගිවිසුම අත්සන් කළ අන්දම අප දුටුවෙමු. ඒ තුළින් කොටි සංවිධානය සමාජීය, ආර්ථික, දේශපාලන සහ යුධමය වශයෙන් ඉතා ශක්තිමත් වූ අයුරු ද අප නිරීක්ෂණය කළෙමු. ත්‍රස්තවාදීන් සමඟ කළ යුද්ධය අවසන් කිරීමට තවත් දීර්ඝ කාලයක් ගත වූයේ මෙම සටන් විරාම කාලය තුළ කොටින්ට ලැබුණු ඒ අමතර ශක්තියයි. පසුව ආරක්ෂක තත්වය එන්න එන්නම නරක තත්ත්වයට එළඹෙන විට චන්ද්‍රිකා මැතිනිය රනිල් වික්‍රමසිංහ රජය විසුරුවා හැරියාය. ඇගේ එම තීරණය නිවැරදිය යන්න සනාථ වූයේ ඊට පසුව පැවති මහ මැතිවරණයෙන් ජනතාව රනිල් වික්‍රමසිංහට අන්ත පරාජයක් අත්කර දුන් බැවිනි.
නමුත් රටක් අනාරක්ෂිත වන විට එවන් රජයක් විසුරුවා හැර ජනතාවට අවැසි වන රජයක් පත් කිරීමට චන්ද්‍රිකා ජනාධිපතිතුමිය තිබූ බලය අද මෛත්‍රීපාල ජනාධිපතිට නැත. එයද නැති කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පවා නොමඟ යවමින්ය යන මතය ජනතාව තුළ පවතී.
මන්ද 2002 දී ජයම්පති වික්‍රමරත්න මෙලෙසම ජනාධිපති වරයාගේ එම පාර්ලිමේන්තුව විසුරුවා හැරි බලය වසර 4 1/2 ක් දක්වා දික් කරමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ විට ශ්‍රේෂ්ඨාධිකරණය එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ලදී. ඔවුන්ගේ තීරණය වූයේ ජනතාව විසින් ජනපතිට දෙන ලද බලයක් වෙනස් කිරීමට නම් ජනමත විචාරණයකින් ජනතාවගෙන් ම විමසිය යුතු බවය. එම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනාම එවන් තීරණයක් ගෙන තිබියදී 19 වන සංශෝධනයෙන් ජනාදිපතිගේ එම පාර්ලිමේන්තුව විසිරීමේ බලය ජනමත විචාරණයකින් තොරව, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සම්මත වූයේ කෙසේ ද?
මෙම 19 වන සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ජයම්පති වික්‍රමරත්න 33 (2) යනුවෙන් අලුතින් වගන්තියක් ඊට එක් කොට තිබිණ. ඒ වගන්තියෙන් කියවෙන්නේ ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවීමට, වාරය අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය තිබෙන බවය. එසේනම් විසුරුවා හැරීමට තිබූ ජනාධිපති ගේ බලය වසර 4 1/2 ක් දක්වා වැඩි කළ ද 33 (2) මගින් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට බලය දී ඇති බැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය 2002 දී මෙන් එය ජනමත විචාරණයකින් තොරව අනුමත කළ නොහැකියයි ප්‍රතික්ෂේප කළේ ඒ නිසා බව උපකල්පනය කළ හැක. නමුත් එය එසේ නොවීය. ජනාධිපති තුමා පසුගිය වසරේ රනිල් රජය විසුරුවා හැරියෙ 33 (2) වගන්තිය උපයෝගී කර ගෙනය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එය නීතිවිරෝධී යැයි තීරණය කරන ලදී. එයින් හැඟී යන්නේ 33 (2) බලයක් නැති බවය. එසේ 33 (2) මගින් ජනපතිට එවන් බලයක් නැත්නම් ජනතාව මගින් ජනපතිට දී තිබූ බලයක් නැති කිරීමට 19 න් ජනමත විචාරණයකින් තොරව සම්මත වූයේ කෙසේ ද ? එසේ කර ඇත්තේ ජයම්පති වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණය නොමඟ යවා ඇති නිසා බැව් ජනතාව සිතන්නේ එබැවිනි. ජයම්පති වික්‍රමරත්නට ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව නඩු පැවරිය යුතු බැව් ද ජනතාව යෝජනා කරන්නේ එබැවිනි.
අද 19 න් රට අගාධයට පත් ව ඇතැයි ජනාධිපති කියයි. එය සත්‍යයකි. මන්ද අද රටේ නායකයා කවුදැයි ජනතාව නොදනී. 19 න් ජනාධිපති ට තිබූ බලය විවිධ අයුරින් අගමැති විසින් ඩැහැගෙන තිබේ. රනිල් කරන කියන බොහෝ දේ ජනපති තුමා දැනගන්නේ පත්තරෙනි. ත්‍රස්තවාදය නිම කොට යුද්ධය ජයග්‍රහණය කරමින් සමස්ත ජනතාවටම සාමය ගෙන දුන් රණවිරුවන් යුධ අපරාධකරුවන් ලෙස හංවඩු ගසා අප රටට විරුද්ධව ඇමෙරිකාව ජිනීවාහි ගෙන ආ 30/1 යෝජනාවට රනිල් සම අනුග්‍රහකත්වය දුන්නේ ජනපතිට තියා කැබිනට් එකටවත් නොදන්වාය. නමුත් ජනාධිපතිට ඒ පිළිබඳව කිසිවක් කරගත නොහැක. වර්තමාන ආරක්ෂක තත්ත්වය ද මේ තරමටම අවදානමට ලක් වූයේ ඒ අයුරින්මය. දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට රනිල්ගේ රජය කිසිදු පිළිගත හැකි සාක්ෂියකින් තොරව හමුදා බුද්ධි නිලධාරීන් රිමාන්ඩ් කරන ලදී. හිටපු හමුදාපති වරුන්ද, හිටපු ආරක්ෂක ලේකම්වරයා ද විත්ති කූඩුවේ සිටීමට සලස්වන ලදී. එයට ද ජනාධිපති විරුද්ධත්වය පෑවත් ඔහුට කළ හැකි කිසිවක් නොවීය. ඒ 19 නිසාය. බුද්ධි අංශ එසේ අඩපන කරමින් හමුදාවේ චිත්ත ධෛර්යය හීන කරමින් බුද්ධි තොරතුරු ජාලය සම්පූර්ණයෙන් විනාශ කළ බැවින් තොරතුරු ලැබී තිබුනත් පාස්කු ප්‍රහාරය අපට වළක්වා ගත නොහැකි වූයේ ඒ නිසාය. ඒ, නායකයා කවුරුන් ද යන්න කවුරුත් නොදන්නා නිසාය. එසේ වූයේ 19 නිසාය.
අද වන විට ආසියාවේ චීනයට පමණක් දෙවෙනිව තිබූ අපේ 7% ආර්ථික වේගය 3% දක්වා පහළට වැටී ඇත. එදා 3.3% ක්ව තිබූ උද්ධමනය 8.3% දක්වා වර්ධනය වී ඇත. ඩොලර් මිලියන 1400 ක සෘජු විදේශ ආයෝජන රටට අහිමි වී ඇත. රුපියලේ අගය අවම ලෙසින් බාල්දු වී ඇත. මහ බැංකු වංචාවෙන් රටට අද වන විට රුපියල් ට්‍රිලියනයක පමණ පාඩුවක් සිදු වී ඇත. රාජ්‍ය ණය රුපියල් කෝටි 90,000 කින් වැඩි වී ඇත. ලංකාව ආයෝජනයට ඉතා අනතුරු රටක් ලෙස වර්ගීකරණය වී ඇති අතර, ලෝකයේ දූෂිතම රටවල් 4 ට අප ද එක් වී ඇත. ACSA, SOFA, MCC යන ඇමරිකානු ගිවිසුම් මගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා යෝජිත ආර්ථික කලාපයේ ඉඩම් අක්කර ලක්ෂ 12 ක් විදේශීය සමාගම් වලට මිලදී ගැනීමට ඉඩ සලසමින් සිටී. එය දෙන්නේ වසර 200 කටය. ජනතාව මේ රජයට බලය දී ඇත්තේ වසර 5 කටය. එවන් රජයකට වසර දෙසීයකට මවුබිම පාවා දිය හැකි ද? මෙවන් දුර්දාන්ත රජයක් වුව ද විසුරුවා හැරීමට ජනාධිපති තුමා ලබන වසරේ පෙබරවාරි වන තුරු ඇඟිලි ගනිමින් සිටිය යුතුය. හෙට අනිද්දා තවත් දේ සිදු විය හැක. නමුත් ජනතාව දුන් බලයක් ජනතාවටද කොකා පෙන්නා ජනතාවගෙන් උදුරා ගෙන ඇත. ජනතාව තවමත් ඉවසිලිමත්ව සිටී. එය නිවට කමක් නොවන බව වර්තමාන පාලකයෝ දැනගත යුතුය.