නව යුද්ධ හමුදාපතිගේ පත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයට විරුද්ධත්වය පළ කරනු වස් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිට්ස් මැතිනිය වෙත යවන ලද ලිපියෙහි සිංහල පරිවර්තනය

නව යුද්ධ හමුදාපතිගේ පත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයට විරුද්ධත්වය පළ කරනු වස් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිට්ස් මැතිනිය වෙත යවන ලද ලිපියෙහි සිංහල පරිවර්තනය

  • Post author:
  • Post category:General
2019 අගෝස්තු මස 20,
ඇලීනා ටෙප්ලිට්ස් මැතිනිය වෙතටයි,
නව යුද හමුදාපති ගේ පත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයට විරුද්ධත්වය පළ කිරීම.
ඇමරිකන් තානාපති කාර්යාලයේ ටුවිටර් ගිණුමේ සහ පසුව දේශීය සහ විදේශීය පුවත් පත්වල පළවුණු උක්ත නිවේදනය සම්බන්ධව මාගේ විරෝධය පළ කිරීම සඳහා මෙම ලිපිය ලියමි. ඔබගේ එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
“ඇමරිකා එක්සත් ජනපදය ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද්ධ හමුදාපතිවරයා වශයෙන් පත් කිරීම පිළිබදව ඉතා බරපතළ ලෙස කනස්සල්ල පළ කර සිටිමි. එක්සත් ජාතීන්ගේ සංගමයේ සහ අනෙකුත් සංවිධානවලින් ඔහුට විරුද්ධව ඉදිරිපත් කර ඇති මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනා විශ්වාස කළ හැකි බරපතල චෝදනා වේ. විශේෂයෙන්ම සංහිඳියාව සහ සමාජ සමගිය අත්‍යවශම කාලයක ඔහුගේ මෙම පත්වීම සාධාරණය සහ වගවීම වර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ලබා ඇති කීර්තිය පරිහානියට ලක් කිරීමක් වේ” යනුවෙනි.
මා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ යුද්ධයටද සහභාගි වූ වසර 35 ක් නාවික හමුදාවේ සේවය කළ විශ්‍රාමික නිලධාරියෙකි. වර්ෂ 2017 සිට මා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට, එම මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්, ලංකාවට එරෙහිව නගන ලද යුද අපරාධ චෝදනා සියල්ල පදනම් රහිත බව ලිඛිතව සනාථ කළ ලියකියවිලි ගණනාවක් ඉදිරිපත්කොට ඇත්තෙමි.
එක්සත් ජාතීන්ගේ සංගමයේ ව්‍යවස්ථාවේම තිබෙන “පැමිණිලි කිරීමේ ක්‍රියාදාමයට” (complain procedure) අනුකූලව ඉදිරිපත් කරන ලද එම ලේඛනය දැන් කවුන්සලයේ නිල වාර්තාවට එක්ව තිබේ. ඇමරිකාව විසින් ඉදිරිපත් කළ සහ ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වූ එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව පාදක වී ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ලංකාව පිළිබඳ වාර්තාවේ නිරීක්ෂණයන්ය. එම යෝජනාවේ ලංකාව විසින් වගවීම සහ සංහිඳියාව සම්බන්ධව පිළිපැදිය යුතු නිර්දේශ ගණනාවක් සඳහන්ව තිබේ.
මාගේ දැනුමේ හැටියට යුද්ධයේ අවසාන අදියරේ ලංකා විසින් කරන ලදැයි සඳහන් කරන එම මානව හිමිකම් / මානුෂීය නීති උල්ලංඝනය කිරීම සම්බන්දව චෝදනා වලට හේතු පාදක වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ලංකාව පිළිබඳ වාර්තාව (OISL වර්තාව) සහ එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් විශේෂඥ වාර්තාව (POE වර්තාව) පමණකි. වෙනත් සංවිධානවල වාර්තා නොවේ.
POE වාර්තාව මහ ලේකම්තුමාගේ පුද්ගලික දැනුම උදෙසා පත්කරන ලද කමිටු වාර්තාවක් වන අතර, එය එක්සත් ජාතික සංගමයේ නිල වාර්තාවක් නොවේ. නමුත් OISL වාර්තාව, ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනාවකින් අනුමත කොට ලද බලයක් සහිතව ඉදිරිපත් කළ එකකි. එසේනම් ලංකා රජය යුද අපරාධ කළාද නොකළාද යන්න රඳා පවතිනුයේ OISL වාර්තාව මතම පමණක් මිස වෙන කිසිම සංවිධානයක් මගින් ඉදිරිපත් කරන ලද එකපාර්ශවීය වාර්තාවක් මත නොවේ.
නමුත් කනගාටුදායක කාරණාවක් වනුයේ OISL වාර්තාවේ සඳහන් නිගමනයන් සාධාරණ සහ සත්‍ය සාක්ෂි මත පදනම් වී ඇති දැයි යන්න සොයා බැලීමට ලංකා රජය විසින් හෝ කවුන්සිලය විසින් හෝ කිසිම ස්වාධීන තක්සේරුවක් මෙතෙක් කර නොමැති වීමයි. තවද මෙම 30/1 යෝජනාව OISL වාර්තාව 2015 සැප්තැම්බර් 16 වන දින නිකුත් වී සති දෙකකට පසුව අනුමත කරන ලද බැවින් එය අධ්‍යයනය කිරීමට හෝ එයට විරුද්ධ වීමට හෝ ලංකාවේ ජනතාවට ද කාලයක් නොතිබීමයි.
දැන් මා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට එම යුද අපරාධ චෝදනා පදනම් විරහිත බැව් පෙන්වා දුන් වාර්තා වල සාරාංශයක් ඔබතුමිය වෙත ඉදිරිපත් කරමි. ඔබ විසින් ලංකා රජයේ හමුදා සාමාජිකත්වය තවදුරටත් හෙළා දැකීම සහ විවේචනය කිරීම කොතෙක් දුරට සාධාරණ දැයි ඔබට පෙන්වා දීමටයි.
OILS වාර්තාවේ ලක් රජය විසින් උල්ලංඝනය කරන ලදැයි සඳහන් කරන චෝදනා 4 ක් මානව හිමිකම් නීතිය සම්බන්ධයෙන්ද 4 ක් මානුෂීය නීතිය සම්බන්ධව ද වේ. එම චෝදනා සහ ඒවාට මා ජිනීවාහිදී පිළිතුරු දී ඇති අන්දම කෙටියෙන් පහත සඳහන් පරිදි වේ.
චෝදනා 01 – ඉවක් බවක් නොමැතිව දෙමළ ජනතාව ඝාතනය කිරීම.
චෝදනාව වනුයේ යුද හමුදාව, ජීවිත බේරා ගැනීමට දෙමළ සිවිල් ජනතාව රැඳී සිටි යුද මුක්ත කලාපයට ඉවක් බවක් නැතිව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කොට එම ජනතාව දස දහස් ගණනක් මරා දැමීමයි. OISL වාර්තාවේ එසේ ඝාතනය කරන ලදැයි කියන සංඛ්‍යාව සදහන් සඳහන් කර නොමැති මුත්, සුප්‍රසිද්ධ POE වාර්තාවේ එම ගණන 40,000 ක් ඉක්මවා ඇති බව පෙන්වා දී තිබේ.
නමුත් ලංකාවේ එවකට සේවය කළ එක්සත් ජාතීන්ගේ සංගමයේ නියෝජිතයාගේ වාර්තාවට අනුව එම සංඛ්‍යාව 7,721 ක් වන අතර රජයේ සංගණනයට අනුව එම සංඛ්‍යාවද ආසන්න වශයෙන් 8,000 ක් වේ. එසේම කොළඹ බ්‍රිතානය මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු බ්‍රිතානය යුද නිලධාරියා එංගලන්තයට තම රාජතාන්ත්‍රක රහස් ලිපියක සඳහන් කර තිබෙන්නේ එම සංඛ්‍යාව 6,500 ක් බවය. එය නෙස්බි සාමිවරයා පසුගිය වසරේ බ්‍රිතානය සාමි මණ්ඩලයේ සනාථ කරන ලදී. එයින් 5,000 ක් පමණ ත්‍රස්තවාදීන් බැව් තහවුරු වී තිබේ. එසේ නම් සිවිල් ජනතාව මිය ගොස් ඇත්තේ 1,500 ක් 3,000 ක් අතරය. එවන් වූ භයානක බරපතල යුද්ධයකදී 2,95,000 ක් සිවිල් ජනතාව බේරාගත් හමුදාවට ප්‍රශංසා කරන ශ්‍රිමත් ඩෙස්මන්ඩ් ද සිල්වා ඇතුළු ලොව ප්‍රසිද්ධ යුද විශේෂඥයින් 06 දෙනෙක් වාර්තා කොට ඇත්තේ සිවිල් ජීවිත හානි සංඛ්‍යාව, මෙවන් යුද්ධයකදී හානි වීමට තිබූ සංඛ්‍යාකවට වඩා, ඉතාමත් අඩු බවය.
චෝදනා 2 – රෝහල්වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම.
මෙම වාර්තාව නිෂ්ප්‍රභා කිරීමට ඇති ප්‍රබල සාක්ෂිය OISL වාර්තාවේම සඳහන් වේ. එහි කියා ඇත්තේ රෝහල් හෝ රෝහල් ලෙස පවත්වාගෙන ගිය අත්හරින ලද ගොඩනැගිලිවල සිට කොටි ත්‍රස්තයින් ෂෙල් වෙඩි ප්‍රහාර දියත් කළ බවත්, ඔවුන් ඒවා තම යුද අවි ගබඩා ලෙස පාවිච්චි කළ බවත්ය. මේ බව රතු කුරුස හමුදාවේ නිලධාරීන් පවා සනාථ කළ බව ජිනීවා හි ඇමරිකන් තානාපතිවරයා කේබල් පණිවිඩයකින් කියා ඇති බැව් විකිලීක්ස් හෙළිදරව් කරයි. මානුෂීය නීතිය අනුව සතුරු ප්‍රහාර එන ස්ථානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හමුදාවට පූර්ණ අවසරය තිබේ.
චෝදනා 3 – උතුරට මානුෂීය ආධාර යැවීම හිතාමතා වැලැක්වීම.
යුද්ධය දැඩි ලෙස පැවතුනු උතුරු / වන්නි ප්‍රදේශයේ රැඳී සිටින සිවිල් ජනතාවට ආහාර, ඖෂධ යැවීම සඳහා රජය මානුෂීය ආධාර පිළිබඳ උපදේශන මණ්ඩලයක් පත්කර තිබින. මෙම ද්‍රව්‍ය වලින් වැඩි හරියක් කොටි ත්‍රස්තයන් ලබා ගන්නා බව දැනගෙනත් උතුරට එම භාණ්ඩ යැවීම නොකඩවා කරන ලදී. මෙම උපදේශන මණ්ඩලයේ ලංකාවේ එවකට සේවය කළ එක්සත් ජාතීන්ගේ සංගමයේ නියෝජිතවරුන් ද සිටියහ. එම රැස්වීම් වාර්තා මා ජිනීවාහි ඉදිරිපත් කොට තිබේ. එයින් එක් වාර්තාවක ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංගමයේ නේවාසික සම්බන්ධීකාරක නිල්බුනේ මහතා කියා ඇත්තේ දැඩි යුද වාතාවරණයක් තුළ පවා උතුරට බඩු යැවීම සම්බන්ධයෙන් සලකා බලන විට ලක් රජයට / හමුදාවට රන් පදක්කමක් දිය යුතු බවය. අමිත් අවාඩ් නැමැති එක්සත් ජාතීන්ගේ සංගමයේ සරණාගතයින්ගේ නියෝජිතයා කියා ඇත්තේ මෙවන් බරපතල යුද්ධයකදී යුද ප්‍රදේශයට භාණ්ඩ නොකඩවා යැවූ ලක් රජය සමස්ථ ලෝකයාටම පරමාදර්ශයක් බවය. එසේම ඉමෙල්ඩා සුගුමාරන් නැමැති මුලතිව් ප්‍රදේශයේ දිසාපති පවසා ඇත්තේ ඔවුන්ට ඕනෑම වෙලාවක මාස 3කට පමන අවශ්‍ය ආහාර / ඖෂධ ගබඩා කොට තිබූ බවය. මෙම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද ?
චෝදනා 4 – හිතාමතා මිනී මැරීම.
කොටි ත්‍රස්ත නායකයන් වන පුලිදේවන්, නඩේෂන්, නඩේෂන් ගේ බිරිඳ විනීතා, යන අය සුදු කොඩි ඔසවා එනවිට මරා දමන ලද බවත් ප්‍රභාකරන්ගේ පුතා වන බාලචන්ද්‍රන්ද නිකරුනේ මරා දමන ලද බවය. නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය දත්ත OISL වාර්තාවේම තිබේ. එහි සඳහන් ව ඇත්තේ “සුදු කොඩි” සිද්ධිය සහ අනෙක් සිද්ධීන් සම්බන්ධ චෝදනා සනාථ කිරීමට අවශ්‍ය ප්‍රමාණයට සාක්ෂි නැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය බවත්ය.
චෝදනා 5 – නිදහස අහිමි කිරීම. (සුදු වෑන් මගින් පැහැර ගෙන යාම)
OISL වාර්තාව මෙම චෝදනාව එල්ල කර ඇත්තේ වෙන කිසිම සාක්ෂියක් ඇතිව නොව හුදෙක් යුද්ධයෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීම් වලට හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ව සහභාගි කරගත් කාරණාව මතය. ඔවුන් මෙම රැස්වීම් වලට සහභාගි කරවා ඇත්තේ හමුදාවන් අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය තුළින් ඉදිරි ත්‍රස්ත මෙහෙයුම්වලට සූදානම් වීම වියහැකි අතර, එය ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ වගකීමකි. එසේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් “නිතර” ආරක්ෂක අමාත්‍යංශයේ හමුවීම “සුදු වෑන්වලින් පැහැර ගැනීමට” සැලසුම් කිරීමය යන්න නිගමනය කිරීම කොතරම් නම් හාස්යජනකද ?
චෝදනා 6 – බලාත්කාරයෙන් අතුරුදහන් කිරීම.
මෙම චෝදනාව කර ඇත්තේ ලංකාව ලෝකයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ සංඛ්‍යාවෙන් ඉදිරියේ සිටය යන්න නිසාය. නමුත් චෝදනා කල සහ ඇත්තෙන්ම අතුරුදහන් වූ අය කවුදැයි සොයා බැලිය යුතුය. උදාහරණ ලෙස එසේ චෝදනා කර ඇති “අතුරුදහන්” අය වෙනත් නම් වලින් වෙනත් ප්‍රදේශ වල / වෙනත් රටවල ජීවත්වන බව සනාථ වී ඇති බැවිනි. පසුගිය රජය අතුරුදහන් අය සෙවීමට “පරණගම” කොමිසම පත් කළ මුත් එය අවසන් කිරීමට ඉඩ දුන්නේ නැත. ඔවුන් ලද පැමිණි වලින් ඔවුන්ට පරීක්ෂණ කිරීමට ලැබුණේ සියයකට ආසන්න සංඛ්‍යාවක් වන අතර ඉන් 75 ක් පමණ වෙනත් නම්වලින් ලංකාවේ සහ ප්‍රශ්නය, ස්විස්ටර්ලන්තය, ඩුබායි යන රටවල් වල සිටින බැව් සනාථ වී ඇත.
චෝදනා 7 – වධහිංසා පැමිණවීම.
චෝදනාව වනුයේ හමුදාව සිවිල් ජනතාවට නිරතුරුවම දරුණු වධහිංසා පැමිණවූ බවයි. OISL වාර්තාවේ මෙම හිංසාවන් පිළිබඳව පැමිණිලි කර ඇති පුද්ගලයන්ගේ අනන්‍යතාවය වසර 20 ක් යන තෙක් රහස්‍ය ලෙස තබා ගනී. නිර්නාමික පැමිණිලි වල සත්‍ය / අසත්‍ය බව සනාථ කර ගන්නේ කෙසේද ? තව ද මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණයේ තීන්දුවක් හුවාදැක්වීම වැදගත් වේ. එහිදී එවන් පැමිණිලි සංඛ්‍යාවක් විභාග කළ උසාවිය තීන්දු කර ඇත්තේ තම කැමැත්තෙන්ම ශරීරයේ කැපුම්, කෙටුම් ඇති කරවා බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබා ගැනීමට කූට ප්‍රයෝගකාරී ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවය. එබැවින් අනන්‍යතාවය හෙළි නොකරන පැමිණිලි වලින් පමනක් වරදකරු කල හැකිද ?
චෝදනා 8 – ලිංගික හිංසනය.
මේ චෝදනාව ද වධ හිංසා චෝදනා සේම නිර්නාමික චෝදනා වන අතර කිසිම චෝදනාවක් ඔප්පු වී හෝ පරීක්ෂණයකට භාජනය කර හෝ නොමැත. එහි ඇත්තේ නම සඳහන් කර නොමැති අය තමන්ට ලිංගික අපරාධ කළාය යන පැමිණිලි පමණය.
එසේනම් ඇමෙරිකන් තානාපතිනිය ලෙස ඔබතුමිය යුද හමුදාපතිවරයාට විරුද්ධත්වය පළ කර ඇත්තේ මෙම කිසිසේත්ම ඔප්පු නොකළ, ඔප්පු කළ නොහැකි චෝදනා මත පදනම්ව පමනි.
ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයෙක් ලෙස ඇමරිකාවට වෙනත් පුද්ගලයෙක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස හෝ කටයුතු කළ නොහැකි අතර, ඔවුන් ක්‍රියා කළ යුත්තේ ජාත්‍ය‍න්තර ප්‍රජාව එකඟවී අනුමත කරන ලද වාර්තාවන්ට අනුවය. මා පෙන්වා දී ඇත්තේ එම අදාල එකම ජාත්‍යන්තර වාර්තාවේ සඳහන් චෝදනා කිසිම සැකයකින් තොරව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නැති බවය. එසේ නම් එවන් කිසිදු පදනමකින් තොර චෝදනා මත පිහිටා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සාධාරණද ?
රටේ යුද හමුදාපතිවරයෙක් පත් කිරීම රටේ අභයන්තර කටයුත්තක්ද වන බැවින් මින් ඉදිරියට හෝ රටේ සහ අපේ හමුදාවට අහිතකර මෙවන් ප්‍රකාශන නිකුත් කිරීමෙන් වළකින ලෙස ඔබතුමිය ගෙන් ඉල්ලා සිටිමි.
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර.