බ්‍රිතාන්‍යයන්ගේ මානව හිමිකම් සහ ඌව වෙල්ලස්ස. (රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා 2019 අප්‍රේල් මස 07 වැනි ඉරිදා දිවයින පත්‍රයට ලියූ ලිපිය)

බ්‍රිතාන්‍යයන්ගේ මානව හිමිකම් සහ ඌව වෙල්ලස්ස. (රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා 2019 අප්‍රේල් මස 07 වැනි ඉරිදා දිවයින පත්‍රයට ලියූ ලිපිය)

  • Post author:
  • Post category:General
වසර තිහක් තිස්සේ රට පෙලු ත්‍රස්තවාදය නිම කොට රටට සාමය උදාකර දුන් රණවිරුවන් “යුධ අපරාධ කරුවන්” යැයි හංවඩු ගසා ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුළත් ජිනිවා 30 ⁄ 1 යෝජනාව 2015 වසරේදී ගෙන ආවේ ඇමරිකාවය. අපේ රටේ වර්තමාන පාලකයෝ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එම යුධ අපරාධ චෝදනා අගය කරමින් පිළිගෙන එම 30 ⁄ 1 යෝජනාවට ජනපතිගේ හෝ කැබිනට් මණ්ව්ලයේ හෝ අනුමැතියකින් තොරව, ලෝකයේ අන් කිසිම රටක් නොකරන අයුරින්, සම අනුග්‍රාහකත්වය දක්වන ලදී.
ඉන් පසු මීට ටික කාලයකට ප්‍රථම අපට විරුද්ධව ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට එම ඊනියා යෝජනාව ගෙන ආ ඇමරිකාව ජිනිවා මානව හිමිකම් කවුන්සිලය යනු “අගතිගාමි දේශපාලනයේ අශුචි වලක්” යැයි පවසමින් ඉන් ඉවත්විය. නමුත් ඉන් පසුවත් අපේ පාලකයෝ එම කොන්දේසි සපිරිමේ කාර්යයේ නිරතව සිටියහ. මෙවර ජිනිවා සමුඵවේදී ඇමරිකාව නොමැති නිසා, ඉහත 30⁄1 යෝජනාවේ දැනට ඉතිරිව ඇති කොන්දේසි ඇතුලත් කොට 40⁄1 යෝජනාව ගෙන ආවේ එංගලන්තයයි. එයටද වර්තමාන පාලකයෝ ජනපතිගේවත්, කැබිනට් මණ්ඩලයේවත් අනුමැතියකින් තොරව සම අනුග්‍රාහකත්වය දැක්වූහ. අදටත් රටේ ජනපතිවරයා, මෙම සම අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ තමාගේ අනුමැතියකින් තොරව යැයි පුන පුනා පවසයි.
පසුගිය මාර්තු මස පැවති ජිනීවා සමුඵවේ අපට විරුද්ධව මෙම 40⁄1 ජිනීවා යෝජනාව ගෙන ආ එංගලන්තය පැවසුවේ ශ්‍රි ලංකාව මානව හිමිකම් වගවිම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවත්, මානව හිමිකම් වලට ගරු කළයුතු බවත්, මානව හිමිකම් උල්ලංඝනය කරනවුන් සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු බවත්ය. මානව හිමිකම් ඔස්තාර්වරයෙකු නැතහොත් පුරෝගාමියෙකු ලෙස ජිනීවාහීදි පෙනී සිටිමින්, අහිංසකයින් දහස් ගණනක් නිකරුනේ මරාදැමු ත්‍රස්තවාදය පරාජය කළ අපේ රණවිරුවන් මානව හිමිකම් කඩකල යුධ අපරාධ කරුවන් යැයි එංගලන්තය එසේ ඉඟිකරද්දී අපේ රටේ නියෝජිතයෝ කිසිත් නොකියා ඔහේ බලා සිටියහ. අපට මානව හිමිකම් ගැන දේශනා කිරීමට එංගලන්තයට සදාචාරාත්මක අයිතියක් තිබේද?
මීට වසර 200 කට පමන ප්‍රථම, එනම් ඉතා මෑත ඉතිහාසයේදී එදා “සිංහලේ” නම් වූ අපේ රටේ, ඉංග්‍රිසින් විසින් සිංහලයන්ට පමනක් විරුද්ධව කරන ලද අතිශය දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබදව විස්තරයන් විශේෂයෙන් සිංහලයන් විසින් දැනගතයුතු හෝ නැවත සිහි කැදවා ගතයුතු බව මගේ හැගීමයි. මන්ද, එසේ අමානුෂික ලෙස ක්‍රියා කළ ඉංග්‍රිසි ජාතිකයින්ට, අපෙන් ඒ පිළිබදව සමාව ඉල්ලා රටෙන් කොල්ලකාගත් වස්තුව නැවත අපට බාර දෙනතුරු මානව හිමිකම් උල්ලනංඝනයන් පිළිබදව අපට චෝදනා කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි යන කතිකාවත ඉදිරියට ගෙනයා හැකි බැවිනි. රටේ පාලකයින් අධිරාජ්‍ය ගැති නිවටයින් වුවත් රටේ බහුතර වැසියන් එසේ නොවන බැව් ලෝකයාට ඒ තුලින් පෙන්විය හැකි බැවිනි.
“මව්වරුන්ගේ තනේ කිරිබොන ළදරුවාගේ සිට සියඵම සිංහල මිනිස්සු ගැහැණු මරා දමනු”. වර්ෂ 1812 දී ලංකාවේ පත් වුනු තුන්වන ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් 1818 සිහලුන්ගේ නිදහස් සටනේදී මේජර් ජෙනරල් හේ මැක්ඩොවල්ට දුන් නියෝගයයි ඒ. අද මානව හිමිකම් ගැන අපට බන දෙසන, “වගවීම්” සම්බන්ධයෙන් නියෝග දෙන, ලෝක සම්මත මානව හිමිකම් චර්යාවන් හිසමත තබා ගෙන සිටින එංගලන්තය දැන් මතක් කර ගත යුත්තේ බ්‍රිතාන්‍ය මහ රැජිනට කළ සේවය වෙනුවෙන් පසුව නයිට් පදවියෙන් පුදලත් පුද්ගලයින් විසින් එදා මේ රටේදී නිකුත් කළ එම අමානුෂික නියෝගයන්ය.
බ්‍රිතාන්‍යයන් අපේ රට ආක්‍රමණය කළ බැව් අප දනිමු. නමුත් ඔවුන්ට ලංකාව යුධ ජයග්‍රහණයකින් යටත් කර ගැනීමට නොහැකිවිය. ඔවුන් මේ රට යටත් කරගත්තේ, 1815 මාර්තු මස 2 වන දින අත්සන් කල බ්‍රිතාන්‍ය කිරිටය මගින් යා කරගත් මහනුවර රාජධානිය පරිපලනය කරන කොන්දේසි ඇතුලත් ගිවිසුම මගින් බව, ඉතා පැහැදිලි වේ. වසර 2357 ක් තිස්සේ රැකගත් සිංහලයින්ගේ නිදහස එදා නැතිවුනේ එසේය.
උක්ත ගිවිසුම අත්සන් කළ තීත්ත වේලියාමටද මත්තෙන් ඉංග්‍රිසිහු එම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් උඩරට නිලමේවරුන් ප්‍රකෝපයට පත් කරමින් කටයුතු කළහ. ඔවුන් උඩරට රාජධානිය පැවති සමයේ නිලමේ වරුන් විසින් භුක්ති විදින ලද සාම්ප්‍රදායි වරප්‍රසාද සම්බන්ධ පොරොන්දු සියල්ල කඩකරන ලදී. ඒ සියල්ල කූඨ ප්‍රාප්තියට පත්වූයේ මිල්ලෑව දිසාවෙගේ බල අධිකාරිය අභිබවා බ්‍රිතාන්‍යයන් විසින් තමන්ට පක්ෂපාතී වූ මුස්ලිම් ජාතික හජ්ජි මරික්කාර් නැමැත්තා වෙල්ලස්සේ මුහන්දිරම් ලෙස පත් කිරිමත් සමගය.
සිංහලයන්ගේ නිදහස් සටන 1817/18 ආරම්භ වූයේ ඉන්පසුවය. ඌව වෙල්ලස්ස විමුක්ති සටන යනුවෙන් අදත් අප සිහිපත් කරන්නේ ආක්‍රමණික සුද්දන්ගෙන් අප රට මුදා ගැනීමට අපේ සිංහල විරෝදාර මුතුන් මිත්තන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දියත් කළ ඒ යුද්ධයයි.
ලංකා ඉතිහාසයේ ඌව ප්‍රධාන ස්ථානයක් ගනුයේ (බදුල්ල / මොනරාගල) බුදුන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට වැඩියේ ඌව දකුණු ප්‍රදේශයේ පිහිටි මහියංගනයට බැවිනි. වෙල්ලස්ස යනු වෙල් ලක්ෂයක් තිබූ, ක්‍රමවත් වාරි පද්ධතියකින් යුක්ත, ලංකාවටම බත සැපයූ මධ්‍යස්ථානයයි. සශ්‍රීක තුරු ලතාවන් සපිරුණු, සතුටින් සාමයෙන් මිනිසුන් විසූ, චමත්කාර ප්‍රදේශයකි.
තමන් සමග එවකට සේවය කළ කැප්පෙටිපොළ දිසාවේ බ්‍රිතාන්‍ය විසින් එම කැරලිකරුවන් මර්දනය කිරීමට ඉංග්‍රිසි හමුදාව සමඟ පිටත් කර යවන ලදි. නමුත් ඒ වනවිට ඉංග්‍රිසින්ගේ වංක ක්‍රියා ගැන කළකිරී සිටි කැප්පෙටිපොළ ඔවුන් සමඟ අලුපොත දක්වා ගොස් සුද්දන්ට එරෙහි එම නිදහස් සටනට එක් විය. කැප්පෙටිපොළ දිසාවේට ඉතා පහසුවෙන් සිංහල සටන්කාමීන් සමග එක්ව තමා සමග ආ එම ඉංග්‍රිසි භටයින් සියල්ල මරා දමා උන්ගේ තුවක්කු සහ පතුරම් සියල්ල තමන් සතු කර ගැනීමට හැකියාව තිබුනත් ඔහු එසේ කළේ නැත. “තොපේ තුවක්කු වලින් තොපිට වෙඩි තියන්න තරම් අප නිවට නැහැ” යනුවෙන් පවසා එම ඉංග්‍රිසි හමුදාව නිරුපද්‍රිතව ආපසු හරවා යැවිය. අද එංගලන්තය පමණක් නොව ඇමරිකාව ඇතුළු සියලුම බටහිර රටවල් දැනගත යුතු කරුණක් නම් සිංහලයන් යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් / මානුෂීය සහ විවිධ යුධ නීති ගෙන ඒමට වසර සියගණනකට පෙරාතුව අපේම සදාචාර යුධ නීති වලට යටත්ව සටන් කළ ජාතියක් බවයි. එසේම සිංහලයින් යනු අසරණ වූ සතුරාගේ පවා මානව හිමිකම් සුරැකී අදීන ජන කොට්ඨාසයක් බවයි.
මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ හැර අන් සියලුම නිළමේවරුන් නිදහස් සටනට එක් විය. නමුත් කරුණු බොහොමයක් නිසා නිදහස් සටන අසාර්ථක විය. අද මෙන්ම එදත් සුද්දට දනින්වැටි උන්ගේ වරප්‍රසාද වලට ලොල්වි ජාතිය පාවා දුන් සිංහලයෝ සිටියහ. උන් ඉංග්‍රිසි හමුදාවට සිංහලයින් විසින් අවහිර කර තිබූ සැපයුම් මාර්ග රහසේ විවෘත කර දුන්හ. නිදහස් සටන පරාජය වීමට මූලික හේතුවක් වූයේ එයයි.
ඉංග්‍රිසීන් මෙම නිදහස් සටන පරාජය කළේ සටන්කාමීන් සමග සටන් කිරීමට වඩා අහිංසක සිංහල ජනතාව බුරුතු පිටින් මරා දමා, ගම් නියම්ගම් ගම් විනාශ කොට, සටන්කාමීන්ගේ බිරින්දන් / දරුවන් ප්‍රාණ ඇපකරුවන් සේ, තබාගෙන ඉතාමත් නින්දිත නිවට ආකාරයෙනි.
රොබට් බ්‍රවුන්රිග් ගේ නියෝග යටතේ ඉංග්‍රිසි ඌව වෙල්ලස්සේ කිරි බොන දරුවන් ඇතුළු වයස අවුරුදු 18 ට ඉහළ සියලුම මිනිසුන් ඝාතනය කළහ. ඇහැගැටෙන සියලුම සිංහල කාන්තාවන් දූෂණය කළහ. පොල්, දෙල්, පලතුරු ගස් සියල්ල කපා දැමූහ. කුඹුරු, ඇළදොල, පොකුණු සියල්ල විනාශ කලහ. සියලුම පානීය ලිං වලට වස දමා හරකා බාන සියල්ලම ඝාතනය කළහ. මේ සියල්ල කළේ බ්‍රවුන්රිග් විසින් සකස් කරන ලද “ස්කෝච්ඩ් අර්ත් පොලිසි” හෙවත් “කර්කශ, දවාලු පොළොවක්” යන ප්‍රතිපත්තියේ සිටිමිනි. එය යුධමය උපායමාර්ගයක් විය. එහි අරමුණ වූයේ ඉදිරියට යන විට හෝ පසු බසින විට හෝ සතුරාට ප්‍රයෝජනවත් විය හැකි සියලුම දේ විනාශ කිරීමයි. ආහාර නිෂ්පාදන, සන්නිවේදන, ජීවන මාර්ග සියල්ල වසා දැමීමයි.
යුද්ධයකදී / ගැටුමකදී සිවිල් ජනතාවගේ ආහාර සැපයුම විනාශ කිරීම අද එක්සත් ජාතීන්ගේ 1977 පලවන මුල් ලේඛනයේ 54 වන වගන්තිය යටතේ තහනම් කොට තිබේ. එහි සඳහන් වන්නේ මෙසේය. “සිවිල් ජනතාවගේ ජීවත් වීම සදහා අත්‍යවශ්‍ය දේවල් වන ආහාර සහ ආහාර නිෂ්පාදනය කරන කෘෂිකර්මාන්තය, ධාන්‍ය, සත්ව ගොවිපළවල්, පානීය ජලය, වාරි ක්‍රම යනාදිය කුමන කරුණක් සඳහා වුව ද, එනම් ඔවුන් සාගතයෙන් මිය යාමට සැලැස්වීමට හෝ ඔවුන් එම ප්‍රදේශයෙන් එළවා දැමීම සඳහා හෝ විනාශ කිරීම සපුරා තහනම් වේ” යනුවෙනි. එසේනම් බ්‍රිතාන්‍යයන් විසින් එදා අහිංසක සිංහල ජනතාවට කරන ලද්දේ අන්තර් ජාතිකය විසින් මෙදා බරපතල යුධ අපරාධයක් යැයි තහනම් කොට ඇති එම දේම නොවේද ?
එදා බදුල්ලේ හිටපු දිසාපතිවූ හර්බට් වයිට් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා “ජර්න්ල් ඔෆ් ඌව” නැමැති සඟරාවට ලිපියක් ලියමින් මෙසේ සඳහන් කොට ඇත. “කැරැල්ලෙන් පසුව ඌවේ ජනගහනය හෝ කෘෂිකාර්මික සංවර්ධනය ගැන හෝ සාධක කිසිවක් සොයා ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක්. ඌව, මෙම කැරැල්ලට පළමුව තිබුණේ කෙසේදැයි සිතා ගැනීමට ද කිසිදු සාක්ෂියක් නොමැත. සටනේදී මිය ගියා නම්, මියගොස් ඇත්තේ ඉතා බුද්ධිමත් නිර්භීත සටන්කාමීන්ය. දැනට ඉතිරිව ඇත්තේ කුඩා ළමුන් සහ මහල්ලන් පමණක් නම් කරන ලද විනාශය අසීමිතයි. කෙටියෙන් කිවහොත් මිනිසුන් තම ජීවිත සහ සම්පත් සියල්ල අහිමි කර ගෙන ඇත. මෙම විනාශයෙන් ඌව නැවත කවදා ප්‍රකෘති තත්ත්වයට පැමිණේ ද යන්න සැක සහිතය” යනුවෙනී. අපට අද මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන බන දෙසන ඉංග්‍රිසීන් එදා අපේ මානව හිමිකම් ආරක්ෂා කර ඇත්තේ එසේය.