මව්බිම අරාජික කිරීමේ කුමන්ත්‍රණය

මව්බිම අරාජික කිරීමේ කුමන්ත්‍රණය

  • Post author:
  • Post category:General
අපි අපේ වසර 2500ක ලිඛිත ඉතිහාසය ගැන මහත් වූ අභිමානයකින් යුතුව කතා කරමු. අපේ මුතුන් මිත්තන් විසින් එදා කරන ලද විශ්වකර්ම වැඩ නරඹන විදේශිකයෝ අදටත් විශ්මයට පත්වන්නේ වර්තමාන තාක්ෂණයත් සමග සංසන්දනය කරන විට වසර දහස් ගණනකට පෙර එවන් දෑ කළේ කෙසේදැයි සිතා ගත නොහැකි නිසාය. සීගිරි ගල මතට ජලය ගෙනගිය අයුරු, සැතපුමකට අඟල් 3/4 ක බෑවුමක් සහිත යෝධ ඇල තැනූ අයුරු, ජ්‍යොමිතික ඉතාමත් සමමිතික අයුරින් රුවන්වැලි සෑය, අභයගිරිය තැනවූ අයුරු, මාදුරුඔය ජලාශයේ අතිශය නිවැරදි සථානයේම බිසෝකොටුව නිර්මාණය කර ඇති අයුරු, යනාදිය ඒ අභිමානවත් ඉතිහාසයේ සංකේතයයි.
එදා අප ලොව ජය ගත් ජාතියක් විය .ලෝක ඉතිහාසයේ ප්‍රථම දූත මෙහෙවර ලෙස සඳහන් වී ඇත්තේ දේවානම්පියතිස්ස රජු පාඨලී පුත්‍ර නගරයේ සිට ධර්මාශෝක රජු හමුවීමට දූත පිරිසක් යැවූ සිද්ධියයි. රෝම අධිරාජයා හමුවීමටත් අපේ රටේ තානාපතිවරු ගොස් තිබේ. වසර 1000 කට පෙර අපගේ වෙළඳ නෞකා කොල්ලකෑ බුරුමයේ රජුට විරුද්ධව බුරුමයට නාවික හමුදා ප්‍රහාරයක් එල්ල කළේ පළවන පරාක්‍රමබාහු රජතුමාය. ත්‍රීකුණාමලේ සිට මඩකලපුව දක්වා නැව් තටාංගන 5 ක් ඉදිකොට නෞකා 300 ක් සාදා නැවියන් 30000 ක් බඳවා, අද්මිරාල් වරු දෙදෙනෙක් පත්කොට (කිත්තිනගරගිරි, ආදිත්‍ය දමිලාධිකාරි) ත්‍රිකුණාමල වරාය හෙවත් කොඩියාර්බේ වලින් පිටවී සඳ, තරු, ග්‍රහයන් උපයෝගීකොට බුරුමයට ගොස් කොල්ලකෑ බඩු සමග වන්දි ද ලබාගෙන නැවත කොඩියාර්බේ වලට පැමිණි බැව් ශිලා ලිපි වල සඳහන් වේ.
6 වන පරාක්‍රමබාහු රජු දකුණු ඉන්දියාවේ රාවන් වලවරායා, අපට කළ අරියාදුවක් හේතුවෙන් දකුණු ඉන්දියාව ආක්‍රමණය කොට වසර 45 ක් යන තුරු ඔවුන්ගෙන් අප බදු මුදල් ලබාගත් බවද පොත පතේ සඳහන් වේ. එසේනම් අප ලොව සිටි දියුණුම ජාතියක් වූ අතර ශක්තිමත් නාවික හමුදාවක් තිබූ රටක්ද විය. නමුත් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන යටතේ සිංහලයාට අත්වූ ඉරණම පිළිබඳව අප දැනුවත්ව සිටිමු. එයටද මූලික වූයේ එවකට අපේ රටේ සිටි අතලොස්සක් වූ දේශද්‍රෝහි සිංහලයන්ගේ ක්‍රියා කලාපයයි. සිංහලයන්ගේ කොඳු නාරටිය බිඳ දැමූ එම වකවානුවෙන් පසු 1948 දී අපට නිදහස ලැබෙන විට අපට සිටියේ ඉංග්‍රීසින් අනුකරණය කරන නායකයින් පිරිසකි. අපට පසුව නිදහස ලැබූ සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් සමඟ සංසන්දනය කරන විට අද අප පත්ව සිටින ඛේදනීය තත්ත්වයට වගකිව යුත්තේ එදා මෙදා තුර රට පාලනය කළ අපේම දේශපාලනඥයෝ මිස වෙන කවුරුන් ද ? වෙනත් රටවල් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන, යම් යම් ස්වයංවාරන පනවමින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන විට අප කලේ විවෘත ආර්ථිකය ගෙඩි පිටින්ක්‍රියාත්මක කිරීමය. දේශීය කෘෂි කර්මාන්තය, පේෂ කර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත සියල්ලම ඇස් ඉදිරිපිට කඩා වැටුණේ ඒ අමනෝඥ ප්‍රතිපත්තියෙනි. අද අප ලෝකයාට ණය වුණු, දූෂිත හිඟන රටක් බවට පත්ව තිබේ.
අපේ රට මොන තරම් අගාධයට පත් ව තිබුණද අවංක නිර්භීත සෘජු නායකත්වයක් යටතේ නැවතත් ලොව දියුණුම රටක් බවට පත් කළ හැකි බව අප විශ්වාස කරමු. එසේ අප විශ්වාස කරන්නේ ඇයි? ඒ අප මව්බිම සතුව තවමත් පවතින ස්වභාවික සම්පත් නිසාම නොවේ. එයට හේතුව මෙතෙක් දුරට අප රටේ පවත්වා ගෙන ආ “ස්ථාපිත ආයතන “බොහෝ දුරට තවමත් එසේම පවතින නිසාය. උදා. ලෙස නිවාසය තුළ අපේ පවුල සෑදී ඇත්තේ එවන් පොදු සම්මුතියකිනි. මව පියාට ගරු කරන්නීය. දරුවෝ දෙමව්පියන්ට වදී. බාල සොයුරු සොහොයුරියන් වැඩිමහල් සොයුරාට/ සොයුරියට ගරු කරයි. ගෘහස්ථ ප්‍රශ්නයකදී මව හෝ පියා හෝ දෙන අවවාදය දරුවන් පිළිගනී. පවුල් තුළ විෂයක් තිබේ අපේ පාසල් පද්ධතිය නිර්මාණය වී ඇත්තේ අධ්‍යාපනය පමණක් නොව විනය, හික්මීම මුල් කර ගත් සම්මුතියකිනි. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සුදු වර්ණ පාසල් නිල ඇඳුමින් සැරසී සිටි. ගුරුවරියන් සාරියෙන්ද ගුරුවරයන් සුදු ඇඳුමින් ද පාසලට පැමිණෙයි. ළමයි ගුරුවර ගුරුවරියන්ට වඳිති. ගරු කරති. අදටත් අප පවා මග තොට දී අපට උගැන්වූ ගුරුවරයෙක් ගුරුවරියක් හමුවූ විට තැන නො තැන නොබලා විඳින්නේ ඒ ගෞරවනීය සම්ප්‍රදායට අනුවයි.
සංඝ සමාජය ද නිර්මාණය වී ඇත්තේ වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායට අනුවය. එදා රටකල රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ සංඝරත්නයයි. වර්තමානයේද ජනපති, අගමැති, මැති ඇමතිවරු තම ප්‍රථම පත්වීම ලද වහාම ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් හමුවීමට යන්නේ එම සම්ප්‍රදායට අනුවය. රට අනතුරේ වැටෙන විට, අවදානමකට ලක්වන විට එදා සිට අද දක්වා ප්‍රථමයෙන් ඉදිරිපත් වුණේ ගරුතර සංඝ රත්නයයි. ථේරපුත්තාභයගේ සිට, ධාතුසේන රජු කුඩා කල රැකබලාගත් මහානාම හිමි, කැප්පෙටිපොළට අසිපත දී “රාජද්‍රෝහි උනාට කමක් නැහැ දේශද්‍රෝහී වන්න එපා” යෑයි කී ඉහගම හිමි, බ්‍රිතාන්‍යයන්ගෙන් වෙඩි පහර කා අපවත් වූ කුඩාපොල හිමි, ඉංග්‍රීසින්ගේ කොඩිය බිම ඇද දමා පෑගූ වාරියපොල සුමංගල හිමි, ගැමුණු, සද්ධාතිස්ස ගැටුම සමථයකට පත් කළ මහාතිස්ස හිමි, ඒ පිළිබඳව උදාහරණ කිහිපයකි.
තවත් මෙවන් බොහෝ ආයතන ගැන සඳහන් කළ හැකි අතර මේ රට නැවත දියුණු අභිමානවත් රටක් බවට පත්කළ හැක්කේ තවමත් එම ස්ථාපිත ආයතන බොහෝ දුරට සුරක්ෂිතව තිබෙන බැවිනි. අපේ රටේ සම්පත් වලට අමතරව එවන් “විභවයක්” අප ජන සමාජය තුළ තවමත් පවතින බැවිනි. මෙම තත්ත්වය කුහක බටහිරයන්ගේ ,ඊනියා ලිබරල් වාදීන්ගේ සහ දේශද්‍රෝහී අමන සිංහලයින්ගේ ඇසට කටු අනින්නාක් මෙනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ රට සදාකාලිකව අරාජික කිරීමටයි. එවිට කුමන බලවේග මෙරට යටත් කර ගැනීමට හැදුවත් එයට විරුද්ධ වීමට රටේ කිසිවකුත් ඉදිරිපත් නොවේ. එම කොන්ත්‍රාත්තුව එනම් ANTI ESTABLISHMENT THEORY හෙවත් ස්ථාපිත ආයතන විනාශ කිරීමේ න‍්‍යාය බාරගෙන ඇත්තේ වර්තමාන රජයේ අනුග්‍රහයෙන් මංගල සමරවීර, රන්ජන් රාමනායක වැනි දීන පුද්ගලයින්ය.
මංගල සමරවීර ඇමතිවරයා ගුරුවරුන්ට දෙමාපියන්ට වඳින්න එපා යැයි දරුවන්ට පවසයි. එම සම්ප්‍රදායට ගරහමින් තමන් ට වඳින්න එන දරුවා ද හරවා යවයි. මෙම ප්‍රතිපත්තිය හමුවේ, පවුල තුළ ,මවට පියාට ගරු කරන, වැඩිහිටියන්ට ගරු කරන සංස්කෘතිය හෑල්ලුවට පත් කරයි.පවුල තුළ එකිනෙකා අතර ඇති සමගිය ,ආදරය බිඳ දමයි. එවිට වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති එම “ස්ථාපිත ආයතනය” බිඳ වැටේ. දරුවන් නන්නත්තාර වී අයාලේ යයි.
මේ ක්‍රියාවත් සමඟම පාසල් සිසු සිසුවියන්ට කිසිම සීමාවකට යටත් නොකොට “ටැබ්” ලබා දෙයි. පවුල් සංස්ථාව බිඳ වැටී ඇත්නම් මවට, පියාට වැඩිහිටි සොයුරා සොයුරිය ට ගරු නොකරන දරුවා අන්තර්ජාලය හරහා ටැබ් එක තුලින් නරඹන්නේ ඉගෙන ගත යුතු දේ නොව, මොළය විකෘති කරන කාමාශාව වර්ධනය කරන අසභ්‍ය දේය. වාරණයකින් තොරව, උපදෙස් හෝ හසුරුවීමකින් තොරව එම පහසුකම දීමෙන් වැරදි පාරේ යන දරුවන් හරි පාරේ යන දරුවන්ට වඩා වැඩිය.
ඉන්පසු පාසල් දරුවන්ට නිල ඇඳුමින් නොව, තමන් කැමති ඇඳුමකින් සැරසී ඒමටත්, ගුරුවරියන්ට තමන් කැමති ආකාරයේ ඇඳුම් ඇඳ පාසලට පැමිණීමටත් අවසර දෙයි. පාසලක් තුල තිබිය යුතු හික්මීම, විනය යනාදිය එවන් තත්ත්වයක් තුළ පවත්වාගෙන යා හැකිද යන්න අප විසින් අවබෝධ කර ගතයුතු වේ. ඉතිහාසය පාසල් විෂය නිර්දේශයෙන් දැනටමත් ඉවත් කර ඇති වාතාවරණයක් තුළ මවට පියාට ගුරුවරයාට ගරු නොකරන, අන්තර්ජාලයට විවෘතව මනස විකෘත කර ගත් දරුවෙක් කිසිදාක “දේශප්‍රේමී” හෙවත් තමා ජනිත වූ දේශයට ආදරය කරන පුද්ගලයෙක් බවට පත් නොවේ. අප එදා විශ්වකර්ම වැඩ කලෙත් ලෝකය ජය ගත්තෙත් අපේ මුතුන් මිත්තෝ දේශප්‍රේමී වූ නිසා බැවිනි. දේශප්‍රේමයෙන් තොර සමාජයක් තිබෙන රටක සිදු විය නොහැක්කේ කුමක්ද? මංගල සමරවීර වැන්නන්ගේ න්‍යායයන්ට අනුව කිසිම පාලනයකින් තොරව දරුවන්ට ටැබ් ලබාදී හන්දියක් හන්දියක් ගානේ බියර් හල් විවෘත කළ විට හයිටි රාජ්ය යට සිදු වූ දේ අපේ රටට වීමට වැඩි කල් ගත නොවේ.
රන්ජන් රාමනායකට භාරදී ඇත්තේ අනෙක් ස්ථාපිත ආයතනයක් වූ සංඝ සමාජයට නිග්‍රහ කොට අපහාස කොට ජනතාව සංඝයා කෙරෙන් ඈත් කොට එම ස්ථාපිත ආයතනය කඩා බිඳ දැමිමේ කොන්ත්‍රාත්තුවයි. අපේ රටේ ඉතිහාසය තුළ ආර්‍ය් සංඝරත්නයේ භූමිකාව ගැන තබා රටේ ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදන්නා රංජන් රාමනායක වැන්නෙකු එම කාර්යයට යොදා ගැනීම ඉතා පහසු බව ඕනෑම කෙනෙකු දනී. මැහුම් දැමීමක් ගැන කතා කළ හැක්කේ එහි වේදනාව දන්නා පුද්ගලයෙකුට පමණි. එබැවින් ශිෂ්ට සමාජයක කිසිවකුත් නොහැසිරෙන ආකාරයෙන් හැසිරෙමින් ගරුතර සංඝරත්නයට මෙසේ දැඩි ලෙස අපහාස කිරීමේ අරමුණ වන්නේ එම සංඝ සංස්ථාව බිඳ දමා එය ජනතාවගේ පිළිකුලට භාජනය කොට සංඝයා වහන්සේලාට රටේ තිබෙන ගෞරවය, භක්තිය නැති කිරීමයි. එවිට සංගයා වහන්සේ ගේ උපදෙස් ජනතාව පිළිනොගනී. රංජන් රාමනායක වැන්නෙකුට කොතරම් උත්සාහ කලත් එම “භාරධූර කාර්යය” කළ නොහැකි බව කුඩා දරුවකුට වුව අවබෝධ වන කරුණකි. ඉතා මිහිරි හඬින් බණ දෙසන තුන්සූත්‍රය කටපාඩමින් කියන කුඩා සාමණේරවරුන් අප කොතෙකුත් දැක තිබේ. අපචාරයන්ට ගොදුරු වන දරුවෙක්ට එසේ කුඩා වයසින්ම ධර්ම කටයුතු වලට යෙදීමට මනස සකසා ගත හැකිද ? රංජන් රාමනායක සංඝයා වහන්සේලාට කළ එම නිග්‍රහයට දඩුවම් විදිය යුතුය. අධිකරණය නමැති ස්ථාපිත ආයතනයටද රංජන් රාමනායක අපහාස කර තිබේ.
විනිසුරුකරුවන් ඔහුට කුමන විදිහේ දඬුවමක් දෙනු ඇත්දැයි අප බලා සිටිමු. හොඳම දඬුවම වන්නේ වසර 10 කට වඩා සිර දඬුවම් විඳින සිරකරුවන් සිටින සිර කුටියකට සතියක කාලයකට යැවීමය. ඉන්පසු ඔහු ලිංගික අපචාර ගැන කිසිදාක තම මුව විවර නොකරනු ඇත.
රටේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත එසේ මංගල සමරවීර, රංජන් රාමනායක වැනි රට, ජාතිය, ආගම කෙරෙහි කිසිම ඇල්මක් ගරුත්වයක් නොමැති පුද්ගලයින් එසේ ANTI ESTABLISHMENT THEORY ය හෙවත් ස්ථාපිත ආයතනය විනාශ කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන විට වර්තමානයේ හදිසියේ මතුවූ ප්‍රවණතාවයක් සම්බන්ධයෙන් ද ඔවුන් තම අවධානය යොමුකර ඇතිබව පෙනී යයි.
පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල කතෝලික ප්‍රජාව හා සිංහල බෞද්ධ ප්‍රජාව ඒකරාශී විය. සමගි විය. එසේම දෙමළ හින්දු බැතිමතුන් ද ඔවුන් සමඟ එක් විය. එසේ එක්වූයේ මුස්ලිම් ප්‍රජාවට නොව මුස්ලිම් අන්තවාදයට විරුද්ධවය. වර්තමාන රජයට අනුව එය ඉතා භයානක තත්ත්වයකි. එය ඉදිරි මැතිවරණයේදී තමන්ට ඉතා අවාසිසහගත තත්ත්වයක් බව ඔවුන් දනී. එබැවින් ඒ සමගිය බිඳ දැමීම ද ඔවුන්ගේ උක්ත සැලසුමේ ප්‍රධාන අංගයකි.
රන්ජන් රාමනායක වැනි කතෝලික ආගම අදහන පුද්ගලයෙක් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නිග්‍රහ කිරීමෙන් සංස්ථාපිත ආයතනය විනාශ කිරීම මෙන්ම බෞද්ධ/ කතෝලික ඝට්ටනයක්ද ඇතිවිය හැකි යැයි ඔවුන් සිතුවා විය හැකිය. නමුත් එය එසේ නොවන්නේ බුද්ධිමත් කතෝලිකයින් සිටින බැවිනි. ලංකාවේ කතෝලිකයන්ගේ සිළුමිණ බදු වූ මැල්කම් රංජිත් කාදිනල් තුමාට ගරහන විටදී ද උන්වහන්සේ ආරක්ෂා කිරීමට මුලින් ඉදිරිපත් වූයේ බෞද්ධයින් සහ බෞද්ධ භික්ෂූන්ය. එබැවින් ජාතියේ වාසනාවට එසේ දැනට ශක්තිමත්ව ස්ථාපිතව ඇති බෞද්ධ/ කතෝලික/ ක්‍රිස්තියානි සමගිය ලෙහෙසියෙන් බිඳ දැමීමට නොහැකි තත්ත්වයකට දැන් පත්ව තිබේ.
දැන් ඉතිරිව ඇත්තේ බෞද්ධ හින්දු සමගිය බිඳ දැමීමයි. එම සමගිය ගැන මහත්සේ උරන වී ඇති දෙමළ සංධානය ත්‍රිකුණාමලයේ කන්නියා උනුවතුර ලිං අසල රඟ දැක්වූයේ එම සමගිය විනාශ කිරීමේ නාට්‍යයයි. එම පරිශ්‍රයේ අනුරාධපුර යුගයට අයත් දාගැබෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන විට එහි කෝවිලක් තිබුනේ යැයි ද්‍රවිඩ සංවිධානයේ ගජේන්ද්‍ර කුමාර, ශ්‍රී ධරන්, යෝගෙශ්වරන් යන පුද්ගලයින් කණ්ඩායමක් සමඟ පැමිණ කෝලහාල කළේ තම ආගමට ඇති ලැදියාව නිසා නොව හින්දු බෞද්ධ ගැටුමක් ඇති කොට වර්තමානයේ නිර්මාණය වී ඇති එම සමගිය බිඳ දැමීමටයි. 2011සැප්තැම්බර් මස 9 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් බෞද්ධ නටඹුන් ඇති පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට ඇති මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු වලට කිසිම බියක් සැකක් නොමැතිව බාධා කිරීමට යාපනයේ සිට පැමිණීමට මෙම ජාතිවාදී ද්‍රවිඩයන්ට නිදහස ලැබුනේ වර්තමාන රජයේ කුහක ප්‍රතිපත්තිය නිසාය. ඒ සුළු ජාතියක ඡන්දවලට ඔවුන් රටේ අභිමානය ඉතා නින්දිත අයුරින් පාවා දී ඇති නිසාය.එසේනම් අද අප මව් බිම මුහුනපා සිටින තර්ජනය වන්නේ වර්තමාන පාලකයින් ගේ මෙම වසර ගණනාවක් තිස්සේ අප රටේ පැවති මෙම ස්ථාපිත ආයතන විනාශ කිරීමේ න්‍යාය යයි.බුද්ධි අංශ නිකරුනේ සිරිකොතට ජාතික ආරක්ෂාව වලපල්ලට ඇද දමා යුද්ධයට සහභාගී වූ රණවිරුවන් ට නිකරුනේ යූත් අපරාධ චෝදනා එල්ල කරමින්, සිංහල බෞද්ධ, කතෝලික, දෙමළ හින්දු ජනතාව අතර තිබෙන සමගිය කඩාබිඳ දැමීමට කටයුතු කරමින් උක්ත සදහන් කර ඇති පරිදි ස්ථාපිත ආයතන විනාශ කර දැමූ විට මේ රට ඕනෑම විදේශීය බලවේගයකට නතූ විය හැක. මන්ද එයට විරුද්ධ වීමට කිසිදු දේශහිතෛෂීයෙක් රටේ ඉතුරු නොවන බැවිනි. එබැවින් රංජන් රාමනායකලා සහ මංගල සමරවීරලා මේ කරන්නේ එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම බව අප සියලු දෙනා දත් යූතූය. එය කෙසේ හෝ වලක්වාලීම අප කාගේත් යුතුකම වේ.