“මහාවංශය හෙළාදකින විග්නේෂ්වරන්ගේ නාඩගම” [රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා 2019 දෙසැම්බර් 29 වැනි දින ඉරිදා දිවයින පත්‍රයට ලියූ ලිපිය]

“මහාවංශය හෙළාදකින විග්නේෂ්වරන්ගේ නාඩගම” [රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා 2019 දෙසැම්බර් 29 වැනි දින ඉරිදා දිවයින පත්‍රයට ලියූ ලිපිය]

  • Post author:
  • Post category:General
මෑතකදි පටන් උතුරු පළාත් සභාවේ විග්නේෂ්වරන් නැමැති හිටපු ජාතිවාදී ප්‍රධාන ඇමතිවරයා නැවත වරක් කට මැත දොඩවමින් සිටි. පසුගිය දිනෙක ඔහු කීවේ අපේ රට සිංහල බෞද්ධ රටක් නොවන බවයි. දැන් ඔහු කියන්නේ උතුරේ චිරාත් කාලයක් ද්‍රවිඩ ජනතාව වැජඹුණු බවත්, සිංහලයින් පැමිණියේ ඊට පසුව බවත්ය. තවද මහාවංශය යනු ප්‍රබන්ධයක් බවද ඔහු ප්‍රකාශ කරයි. එසේ කියමින් එංගලන්තයේ අභිනව අගමැතිවරයා වන බොරිස් ජොන්සන්ගෙන් උතුර වෙනම රාජ්‍යයක් බවට පත්කරනුවස් ශ්‍රී ලංකාව පෙඩරල් රාජ්‍යයක් බවට පත්කිරීමට සහාය ඉල්ලා සිටී.
ජාතිවාදය සහ ජාති වාත්සල්‍යය යන්නෙහි වෙනස අප මීට ප්‍රථම ලිපි මගින් දැනුවත් කර තිබේ. ජාතිවාදය යනු තමන්ගේ ජාතිය අන් ජාතීන්ට වඩා උතුම් යැයි සලකමින් අන්‍ය ජාතීන්ට හිරිහැර කිරීම හෝ ඔවුන්ගේ අයිතීන් පැහැර ගැනීමයි. ජාති වාත්සල්‍යය යනු තමන්ගේ ජාතියට යම් අනතුරක් හිරිහැරයක් සිදු වේ නම් දිවිහිමියෙන් එය වැළැක්වීමට කටයුතු කිරීමයි. සිංහලයින් කිසිවිටෙකත් දෙමළ මුස්ලි ජාතීන්ගේ අයිතිවාසිකම් උදුරාගෙන නැත. අද දෙමළ ජනගහනයෙන් 52% කට වඩා සිටින්නේ උතුරේ නොව දකුණේ සිංහලයින් සමගය. ඉරිදා දිනෙක ගාලු මුවදොර පිටියට සන්ධ්‍යාභාගයේ ගියහොත් එහි වැඩියෙන් විනෝද වන්නේ මුස්ලිම් සහ දෙමළ ජනයා බව ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. කොළඹ සමාජයේ උසස් තලවල මුස්ලිම් සහ දෙමළ ජනතාව වැජඹෙන්නේ සිංහලයින් ජාතිවාදී නොවන නිසාය. නමුත් සිංහලයින් සමග කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, කොළඹ නීති විද්‍යාලයේ සිංහලයින් සමග නීතිය හදාරා, මහේස්ත්‍රාත්වරයකු, ඉහළ උසාවියේ විනිසුරු කරුවෙකු, අභියාචනාධිකරණයේ විනිසුරු වරයෙකු සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයෙකු වශයෙන් කොළඹ සේවය කරමින් වසර 65 ක් සිංහලයින් අතර කොළඹ ජීවත් වූ විග්නේෂ්වරන් යාපනයට ගොස් කියන්නේ සිංහලයාට උතුරේ ජීවත් වෙන්න අයිතියක් නොමැති බවය. දෙමළ තරුණ / තරුණියන් සිංහල අය සමඟ විවාහ නොවිය යුතු බවය. විග්නේෂ්වරන්ට ජාතිවාදියා යැයි පැවසීම වරදක් නොවන්නේ ඒ නිසාය. ඔහු උතුරේ සිංහලයාගේ අයිතිවාසිකම් පැහැර ගැනීමට උත්සාහ කරන බැවිනි.
මැල්කම් රංජිත් කාදිනල් පියතුමන් මේ රට සිංහල බෞද්ධ රටක් බවත්, එය කවදාවත් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, එම සිංහල බෞද්ධ උරුමය සැවොම පිළිගත යුතු බවත් ප්‍රකාශ කළ බව අපි දනිමු. එම ප්‍රකාශය කණ වැකුණු එක් බටහිර රටක තානාපතිවරියක් කතෝලික පූජකවරයෙකට දුරකථනයෙන් කතා කොට කියා ඇත්තේ කාදිනල්තුමා කතෝලිකයෙක් ලෙස එවන් ප්‍රකාශ නිකුත් කිරීම වැරැද්දක් බවයි. ඊට පිළිතුරු දී ඇති පූජකතුමා පවසා ඇත්තේ හැකිනම් හෙලිකොප්ටර් යානයකින් ලංකාව උඩින් පියාසර කරන ලෙසත්, එවිට ඇයට දකින්න ලැබෙන දාගැබ්, වෙහෙර විහාර, වැව් ආදී අති විශාල සංඛ්‍යාව අද ඊයෙ ඉදිකළ ඒවා නොව වසර දහස් ගණනකට පෙර ඉදි වූ ඒවා බවත්, කාදිනල්තුමා පෙන්වා දෙන්නේ ඒ යථාර්ථය බවත්ය.
විග්නේශ්වරන්ට උතුරේ හෝ දිවයිනේ වෙනත් තැනක හෝ එවන් ද්‍රවිඩ ජාතීන්ගේ යැයි දැක්වෙන එකදු පුරාවස්තුවක් පෙන්විය හැකි ද ? උතුරේ දෙමළ ජනාවාස තිබුණේ යැයි සනාථ වන එකදු සෙල්ලිපියක් පෙන්විය හැකිද ? නැත. යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ පළමු වන මහාචාර්යවරයා වන කාර්තිගේසු ඉන්ද්‍රපාලන් තම ආචාර්ය උපාධිය සඳහා තෝරා ගෙන ඇත්තේ “ලංකාවේ දෙමළ ජනවාස” නමැති විෂයයි. එම පර්යේෂණ කෘතියේ ඔහුගේ නිගමනය වන්නේ ලංකාවේ ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසට එහා කිසිම දෙමළ ජනාවාසයක් ලංකාවේ තිබී නොමැති බවයි. ඉතිහාසය පිළිබඳ දෙමළ මහාචාර්යවරයෙකු එසේ පවසන විට එම සත්‍යය දැනගෙන විග්නේෂ්වරන් මෙසේ පවසන්නේ කූඨ අරමුණක් පෙරදැරිවය. එනම් මේ පිළිබඳව සිංහලයා උසිගන්වා ඔවුන් ලවා දෙමළ විරෝධී ප්‍රකාශ කියවා නැවතත් ජාතිවාදී ගිනි ඇවිලීමටය. මෙවැනි කාලයක කිසිසේත්ම අනවශ්‍ය මෙවන් ප්‍රකාශ වරින් වර පුන පුනා ඔහු ප්‍රකාශ කරන්නේ එබැවිනි. එවන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීති ප්‍රකාරව දඬුවම් කිරීමට නීතියේ ඕනෑ තරම් ප්‍රතිපාදන තිබේ.
වර්ෂ 1936 දී උතුරේ වඩමාරච්චි පළාතේ වල්ලිපුරම් නැමැති ග්‍රාමයේ හින්දු කෝවිලක් අසල රත්තරන් පත්තරයක් හමුවිය (වල්ලිපුරම් රන් සන්නස යනුවෙන් ප්‍රසිද්ධ වූයේ එයයි.) ඒ හා සමගම බෞද්ධ ප්‍රතිමාවක්ද, කාසි වර්ගයක්, මැටිබදුන් යනාදී පුරාවස්තු ද හමු වී ඇත. පුරාවිද්‍යා අධිපති ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙම රත්තරන් පත්‍රය ලබාගෙන අවශ්‍ය ඡායාරූප සහ අනෙකුත් අදාළ කරුණු ලබාගෙන නැවත එය සොයාගත් එස්. තංගරාජා නැමැත්තාට භාරදී ඇත. පසුව ජාතික කෞතුකාගාරය මගින් එය ලබා ගැනීමට තැත් කිරීමේදී යාපනයේ රාසනායගම් නැමැති මුදලි වරයෙක් එය සොයා දෙන්නට ඉදිරිපත් වී ඇත. ඉන් පසු එහි අයිතිකරු රුපියල් 500 කට එය අලෙවි කිරීමට සූදානම් වී ඇතත් හිටි හැටියේ එය අතුරුදහන් වී ඇත. ඉතා වටිනා ජාතික වස්තුවක් රටට අහිමි වී ඇත්තේ එසේය. අද ඇත්තේ එවකට සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිවරයෙකුව සිටි නිශ්ශංක විජේරත්න විසින් උපදෙස් දී සාදන ලද වල්ලිපුරම් රන් සන්නසෙහි ආකෘතියක් පමණි.
ආචාර්ය පරණවිතානයන් විසින් කියවන ලද එම වල්ලිපුරම් රන් සන්නසෙහි සඳහන් වන්නේ වසභ රජු සමයේ ඉසගිරි ඇමති විසින් නාගදීපය පාලනය කරද්දී බදකර අතන නම් ස්ථානයේ ජයතුංග තිස්ස විහාරය කර වූ බවය. මෙයින් සනාථ වන්නේ ක්‍රිස්තු වර්ෂ 66 – 112 ඒ අතර කාලයේ රජ කළ වසභ නම් සිංහල රජතුමාට උතුර පාලනය කිරීමට ඇමැතිවරයෙක් සිටි බවත්, වසභ රජු නාගදීපය ඇතුළුව මුළු රටම පාලනය කළ බවත්ය.
නාගදීපයේ නාගපූසානි අම්මාන් කෝවිලේ සෙල්ලිපියක් තැන්පත් කර ඇති අතර ඉන් දැක්වෙන්නෙ වරායට එන වෙළදුන්ට ඇතුළු වීමට අවසර දෙන ක්‍රමවේදයන් සහ ඔවුන් විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණයන්.මෙම සෙල්ලිපිය වරායට එන දකුණු ඉන්දියානු වෙළඳුන්ගේ කියවීමේ පහසුව පිණිස තමිල් බසින් ස්ථාපනය කරවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1164 සිට 1197 තෙක් පොළොන්නරුවේ රාජ්‍ය රජ කළ මහා පරාක්‍රමබාහු රජුය. ඒයින්ද පෙනී යන්නේ ඒම ප්‍රදේශය සිංහල රජු යටතේ පැවති බවයි.
යාපනයේ කන්ද රෝඩය නැමැති ප්‍රදේශයේ හමුවන සෙල් ලිපිය ක්‍රිස්තු වර්ෂ 912 – 929 පොළොන්නරුවේ සිටි හතරවන කාශ්‍යප රජතුමා විසින් කරවන ලද්දකි. එහි සදහන් වන්නේ කාශ්‍යප රජු රුහුණු මලය ආදී ප්‍රදේශ එක්සේසත් කළ බවය.
එදා මෙදා තුර අපේ මව් බිම හැඳින්වූයේ “සිංහල දේශය” යනු වෙනි. 1815 උඩරට ගිවිසුම බ්‍රිතාන්‍යයන් සමඟ අත්සන් කරන විට අපේ රටේ නම් “සිංහලේ” ය. ඉන්දියාවේ සමුද්‍ර ගුප්ත රජු විසින් කරන ලද අල්නබාද් ප්‍රශස්ති‍යේ දක්වා තිබෙන්නේ මෙම හෙළදීපය “සිංහල දීපය” යනුවෙනි.
අපේ රටේ සංචාරය කළ සුප්‍රසිද්ධ චීන ජාතික ෆාභියන් භික්ෂුව ක්‍රිස්තු වර්ෂ 416 දී රචනා කළ ග්‍රන්ථයේ සදහන් වන්නේ මේ රට “සිංහල දේශය” වශයෙනි. එහි කිසිම දෙමළ රාජ්‍යයක් ගැන සදහන් ව නැත.
ක්‍රිස්තු වර්ෂ 1459 දී බුරුමයේ ධම්ම චේතිය රජු මෙරටින් උපසම්පදාව ගෙන්වා පසුව සෙල්ලිපි සමූහයක එම විස්තර සඳහන් කළ අතර කල්‍යාණි සෙල්ලිපි නමින් හඳුන්වන එම සෙල්ලිපි අදටත් යම් ප්‍රමාණයක් සුරැකිව තිබේ. එහි සඳහන් වන්නේ සිංහල දේශයේ සිංහල රජු (6 වන බුවනෙකබාහු) විසින් වැඩමවාළු “සිංහල උපසම්පදා” යනුවෙනි. දෙමළ රාජ්‍යයක් ගැන සඳහන්ව නොමැත.
මෙරටට පැමිණි සියලුම විදේශ ආක්‍රමණයන්ට මුහුණ දුන්නේ, සතුරන් සමග සටන් කළේ, සිංහලයන්ය. එම සිංහල රටේ සියලුම ජාතීන්ට අයත් ජනයා සමගියෙන් සාමදානයෙන් වෙසෙති. එවන් වූ සමගිය කඩා බිඳ දමන්නේ විග්නේෂ්වරන් නැමැති ජාතිවාදී දෙමළ දේශපාලඥයන්ය. 80 දශකය වන තුරු උතුරේ සිංහල පවුල් 25,000 ක් පමණ සහ මුස්ලිම් පවුල් 15,000 ක් පමණ ජීවත්ව සිටියහ. කොටි ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද ජනවාර්ගික ශූද්ධය කරන කොට ගෙන අද උතුරේ එදා විසූ එකදු සිංහලයකු හෝ මුස්ලිම් පවුලක් හෝ නොමැත. සිංහල දේශයේ උතුරේ සිංහලයාට තහනම් ප්‍රදේශයක් බවට පත් කරන්නේ විග්නේෂ්වරන්ලාය. රජය විසින් දැන් වහාම කළ යුත්තේ විග්නේෂ්වරන් කුදලා ඉවත් කොට උතුරේ එදා විසූ සියලුම සිංහල මුස්ලිම් ජනයා නැවත එහි පදිංචි කිරීමය. සිංහල මුස්ලිම් සමග දෙමළ ජනයාට දකුණේ සමගියෙන් ජීවත් විය හැකි නම් දෙමළ ජනතාව සමග සිංහල මුස්ලිම් අයට උතුරේ සමගියෙන් ජීවත්වීමට පුළුවන්කමක් තිබිය යුතුය. එයට විරුද්ධ වන සියල්ලන්ම ජාතිවාදීන්ය. ජාතිවාදීන් හඳුනාගෙන ඔවුන්ව සාමයට ලැදි ජනතාවගෙන් ඈත් කොට තැබීම පවතින රජයේ යුතුකමකි. රජයේ එසේ කරන තෙක් ජාතිවාත්සල්‍යයෙන් හෙබී පිරිසක් බලා සිටී.